Thursday, March 20, 2014

ඉතින් යන්නද දුරට වෙන්වි නුඹෙන් ඇතට වෙන්වෙලා



අළුත් කඳුලක් ඇවිත් හෙමිහිට මතකයන් ලඟටම වෙලා
කිසිත් නොකියා හඩන මගේ හිත ලඟම හෙමිහිට නැවතිලා
පරණ කවියක් අළුත් කරමින් අකුරු එකිනෙක ගලපලා
මතක මන්දිර හෙමින් අහුලන් කඳුළු කවිකම් ලියැවිලා

පාවේලා ආ පිහාටුව යට නුඹේ සුසුමන් තවරලා
ගෑවිලා ආ සුසුම් පිණි කැට අළුත් වැස්සේ සැඟවිලා
කාලෙකින් හමනා සුළං රොද කොහෙදො අද සැඟවිලා
යයිද දුර යයි කිසිත් නොකියම මතකයන් ගෙන වෙන්විලා

ඈත මතකයේ රැඳුනු සෙනෙහස යලිත් හදවත සරසලා
මතක කඳවරු අතර හෙමිහිට මගේ හද අද නැවතිලා
නුඹේ දෙතොලට දෙතොල යා කල සුවඳ හදතුල රඳවලා
ඉතින් යන්නද දුරට වෙන්වි නුඹෙන් ඇතට වෙන්වෙලා

 කළුවර හීන

Monday, March 17, 2014

මේ තනිකම මඟහරිනු කෙලෙස



නින්ද නොයන පාළු රැයක
නුඹ ඇවිදින් මගේ සිතවෙත
ඉතින් කියන් පාළු කඳුල
දුක අතහැර යන්නේ කොහොම

වැටෙන වැටෙන හැම කඳුලම
දුක පමණක් උහුලනකොට
මට කියපන් පුංචි කඳුල
තනිකම මඟ හරිනු කෙලෙස

රෑ හිනෙට පායන සඳ
පාට පාට හීන අතර
නුඹ ඇවිදින් සැරිසැරුවත්
හෙටක් නොවයි හෙට ම‘හදට


-කළුවර හීනය-